expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Friday, September 23, 2011

...අක්කා...

               මේ කතාව අපේ අම්මට අහන්න ලැබිලා අම්මාගෙන් මට අහන්න ලැබිලා දැන් සතියකටත් වැඩියි. එදා කතාව අහපු ගමන් ඇති වුන කම්පනයට මේක ඉක්මනට ලියන්න ඕනෙ කියලා හිතුවත් බැරි වුනා.ඊට පස්සෙ ඉතිං  පොත් පිස්සුව ඔලුවට ගහපු නිසා ලියන එක පොඩ්ඩක් පහු වුනා.

.................................................................................................................................................................................

               මේ අනුවේදනීය සිදුවීම සිද්ද වෙලා තියෙන්නෙ අම්මගෙ ඉස්කෝලෙ ගුරුතුමියෙක්ගෙ ගෙවල් ගාව.
පවුලෙ ඉදලා තියෙන්නෙ සහෝදරයයි,සහෝදරියයි,එයාලගෙ අම්මයි.සහෝදරයයි,සහෝදරියයි කිව්වෙ අක්කයි,මල්ලියි. මල්ලි බැඳලා අක්කා බැඳලා නෑ.මල්ලියි එයාගෙ නෝනයි ඉදලා තියෙන්නෙ මහ ගෙදරට ලගම තැනක ගෙයක් අරගෙන.මහ ගෙදර ඉන්නෙ අම්මයි, දුවයි විතරයි.


                බැදලා කාලයක් යනකොට අර දෙපලට පුත්‍ර රත්නයක් ලැබිලා.දන්නවා නෙ අද කාලෙ දෙමව්පියන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ.දෙන්නාම රස්සාවට යනකොට ලමයව බලාගන්න කෙනෙක් නැති එක.අද කාලෙ ලමයා බලාගන්න  කෙනෙක් ගන්න එකත් ලේසි පහසු වැඩක් නෙවෙයිනේ.එක ප්‍රශ්නයක් තමයි ඉල්ලන ගාන වැඩි කම.අනික් ප්‍රශ්නෙ ලමයට කොහොම සලකයිද කියන එක.සමහරුන්ට කේන්ති ගියාම එහෙම පොඩි එකෙක්නෙ කියලා බලන්නෙ නෑ නෙ.ලොකුම ප්‍රශ්නෙ ගෙදර තියෙන බඩු මුට්ටු ටික තමුන්ගෙ කියලා හිතාගෙන අරන් ගියොත් එහෙම.

                  ඉතිං එහෙම කෙනෙක් ගන්නවාට වඩා මේ ප්‍රශ්නෙට අලුත් දෙමව්පියන්ට තියෙන හොදම විසඳුම වෙන්නෙ තමුන්ගෙ අම්මා තාත්තා  ගාව ලමයාව තියලා වැඩට යන එක.ආච්චි සීයා ගාව ඉන්න පොඩි එවුනුත් කැමතියි.ඒ වගේම තමන්ගෙ ලමයගෙ පුංචි කාලය තමුන්ගෙ මුනුබුරා හෝ මිනිබිරිය තුලින් දකින වැඩිමහල්ලොත් හරිම සතුටින් ඒ රාජකාරියත් ඉෂ්ට කරනවා.බලාගෙන යනකොට ඒ අයට වයසට ගිහිල්ලත් නිදහසක් නෑ නෙ.
                  මේ කතාවෙ මල්ලිට නම් තමුන්ගෙ අම්මට ලමයව බාර දෙන්න සිද්ද වුනේ නෑ.මොකද අක්කා බැඳලත් නෑ,රස්සාවක් කරන්නෙත් නෑ.මේ පුංචි කොලු පැටියත් තමුන්ගෙ ආච්චිට වඩා නැන්දාට ලං වුනා.කොටින්ම කිව්වොත් නැන්දා යන යන තැනට පොඩි එකා යනවා.මෙයාව දාලා කොහේ හරි ගමනක් යන්න හැදුවොත් කෑ ගහලා අඩනවා.යනවානම් යන්න ඕනෙ හොරෙන්.

                  මේ කියන දවසෙත් අර අක්කට ඕනෙ වෙලා බැංකුවට යන්න.ඒත් ඉතිං පොඩි එකාට පේන්න යන්න බෑ නෙ.ඉතිං අම්මාට කිව්වාලු "අම්මේ පුතාව පොඩ්ඩක් බලා ගන්න.මං රෙදි ටිකත් වනලා පිටිපස්ස දොරෙන්ම යන්නම්" කියලා.ආච්චිත් පුතාව චාටුවෙන් තියාගෙන හිටියලු ගෙදර ඉස්සර පැත්තට වෙන්න.

                  වෙලාව එකොලහ විතර වෙනකොට (මේ වෙනකොට අර අක්කා ගිහින් පැයක් විතර වෙලා) ආච්චි කල්පනා කලාලු පොඩි එකාට මොනව හරි බොන්න හදා දෙන්න ඕනෙයි කියලා.කුස්සියට යනකොට බැංකුවට ගියයි කියලා හිතපු අක්කාගෙ අත් බෑග් එක කුස්සියේ මේසෙ උඩ."මේ ලමය මෙච්චර වෙලා මොනවා කරනවද මන්දා." කියලා හිතපු ආච්චි ලමයත් එක්කම එලියට බැහලා තියෙන්නෙ තමුන්ගෙ දුවව හොයන්න.

                  වත්තෙ හැම තැනම් බැලුවත් පේන්න නොහිටපු තමුන්ගෙ ලොකු අම්මව මුලින්ම දැක්කෙ අර පුංචි පුතා. "ආච්චි අම්මේ මේන් නැන්දා." කියලා ආච්චිටත් අඩ ගහලා පෙන්නුවාට වෙලා තියෙන්නෙ මොකක්ද කියලා ඒ පොඩි එකාට තේරිලා නෑ.

                අම්මා කෙනෙක්ට දකින්න හම්බවෙන අවාසනාවන්තම සිද්දිය අර ආච්චි අම්මා දැක්කා.තමුන්ගෙ දුව මැරිලා.ලමයව මග අරින්න කියලා හිතා ගෙන, පිටි පස්සෙ දොරෙන් පිට වෙලා රෙදිත් වනා ගෙන යන්න ගියපු කෙනා අන්තිමට මැරිලා හිටියේ වැසිකිලි වලේ.ඒ කොහොමද....?????

                 ඒ ගෙදර රෙදි වැල තිබිලා තියෙන්නෙ වැසිකිලි වලට උඩින්.වැසිකිලි වලේ උඩ වහලා තිබුන කොන්ක්‍රීට් තට්ටුව දිරලා තිබිලා තියෙන්නෙ.රෙදි වන වනා හිටපු ඒ අක්කාව කොන්ක්‍රීට් එකත් කඩා ගෙන ඇතුලට වැටිලා.එයා වැටුනට පස්සෙ තට්ටුවෙන් ඉතුරු වුන ටික එයාගෙ ඇඟ උඩට වැටිලා.

                  මේ මරණය නිසා වැඩි පුරම ආතතියට ලක් වෙලා තියෙන්නෙ අක්කාට තමුන්ගෙ ලමයව බලා ගන්න දීපු මල්ලිට."අනේ මගෙ රත්තරං අක්කාට මෙහෙම වුනේ මගෙ ලමයා නිසානේ." කිය කියා එයා අඩනවාලු.ඒත් යන්න වෙලාව ආවාම කාටවත් ඒක නවත්තන්න බෑ නේ.


                      ඔන්න අපි පරිස්සම් වෙන්න ඕනෙ තැනක්.වැසිකිලි වල වත්තෙ කොනකට වෙන්න හදලා වැඩිපුර ඒක උඩින් යන එන එක අඩු කරන එක හොදයි.ඒ වගේම ටිකක් සැලකිල්ලෙන් කොන්ක්‍රීට්  වැස්ම දාන එකත් වැදගත්.

44 comments:

  1. හප්පා අපෙත් පිටි පස්සේ රෙදි වැල තියෙන්නේ ඔය වගේ තැනක එක අතකට මට එහෙම වෙනවා නම් හොඳයි අප්පා

    ReplyDelete
  2. @ශානු - රෙදි වනන්න යනකොට පරිස්සමින්.අපොයි නගේ එහෙම හිතන්න එපා.

    ReplyDelete
  3. අපේ අම්මටත් කියන්නෝන රෙදි වනන්න යන්නෙපා කියලා. අපේ ගෙදර රෙදි වැල තියෙන්නේත් කොංක්‍රීට් එක උඩ

    ReplyDelete
  4. @මධුරංග - හ්ම්...පරිස්සම් වෙන්න කියන්න මල්ලි.වෙන තැනක වැල බදින්න.

    ReplyDelete
  5. @මධුරංග අයියා : අම්මා කෙසේ වෙතත් ඔයා නම් යන්න එපා

    ReplyDelete
  6. මේ වගේම සිද්දියක් මං අඳුරන පවුලක උනා. අපේ චූටි අක්ක වැඩකරන තැන වැඩකරන නංගි කෙනක්ගෙ ගෙදර. ඒ නංගි ගාල්ලෙ. අක්කල අයියල හුඟක් ඉන්නව. මෙ නංඟියි එක අක්ක කෙනෙකුයි විතරයි කසාද බැඳල නැත්තෙ. තාත්ත ජීවතුන් අතරෙ නෑ. මේ නංඟිත් කොළඹ හොස්ටල් වල තමා ඉන්නෙ. ඉතිං අර අනිත් අක්කත් රස්සාවට ගියාම අම්ම විතරයි ගෙදර.

    ඔය සිද්දියට කලින් දවසෙ තමා ඒ නංගි නිවාඩු ඉඳල ගෙදර ඉඳං ආයෙ හොස්ටල් ඇවිත් තියෙන්නෙ.

    මොකද දන්නවද වෙලා තියෙන්නෙ? අර වැඩට ගිය අක්ක හැන්දෑවෙ ගෙදර ආවම අම්මා නෑලු. කතා කලාට කොහේවත් නෑලු. පස්සෙ ඒ අක්ක වත්තෙ බලද්දි  ටොයිලට් වලේ කොන්ක්‍රීට් එක කඩාගෙන අම්මා ඒකට වැටිල. පා වෙවි ඉන්නවලු. මටනම් හිතාගන්න බෑ ඒ අක්කට මොනා හිතුනද කියල ඒක දැකල.

    උඳේ මිදුල අතුගාද්දි වෙලා තියෙන්නෙ. ඉදලත් බාගෙට අතුගාපු කොලත් තිබ්බලු. උදේ ඉදන් ඒ අම්ම ඒක ඇතුලෙ අම්මෝ!

    අනික ඒ අම්මට ලොකු හිසරදයක් එක්ක එන කලන්තෙකුත් කාලෙක ඉඳන් තිබිල තියනව. 

    ටොයිලට් වලේ ඇතුලෙ කාලෙක ඉඳන් එකතු වෙන වායු හන්ද විශ නිපදවෙනව වගේම කොන්ක්‍රීට් එක පවා දිරනව මං හිතන්නෙ. ඒක හංද වෙන්න ඕන ඒ වල ආවරනය කරන කොන්ක්‍රීට් ලෑල්ලට තරමක් දිගට පිටතට  විහිදෙන බටයක් නැත්නම් විවරයක් තියන්න කියන්නෙ.

    ReplyDelete
  7. ඔයා මේ කතාව කීවම මගේ ඇග සීතල උනා.මොකද මාත් මේ වලක ටිකක් දුරට බැහැපු කෙනෙක්. අල්ලපු ගෙදෙර ලැට් වලේ. යන්තම් පන බේරාගත්තේ..

    ReplyDelete
  8. ඒ කෙනාගේ වෙලාව තමයි අක්කේ , ආපහු යන්න වෙනකොට යන්නේ කොහොමද/කොයි වේලාවේද කියන එක අපිට තීරණය කරන්න බැහැනේ

    ReplyDelete
  9. ජීවිතේ කොච්චර නම් අස්ථීරද අප්පා.. ගොඩ නගා ගන්න මහා අවුරුදු ගනන්ක් ගියත් නැති වෙන්න ක්ශණයක් හොඳටෝම ඇති !

    ReplyDelete
  10. හපොයි දෙවියනේ.. මල්ලි අක්කට ගොඩාක් ආදරෙ කරපු කෙනෙක් වගේනේ,. ඒත් ඉතින් යන්න වෙලාව ආවාම කාටවත්ම ඒක නවත්තන්න බෑනේ ..

    ReplyDelete
  11. මම නම් ආය ඔය කොන්ක්‍රීට් ලෑල්ල පැත්ත පළාතේ යන්නේ නෑ.. ඇයි අනේ... මැරුනත් ඕකේ ඇතුළට වේලා එක විනාඩියක් හරි පණ පිටින් ඉන්න ඇති නේ.. :0 මොනවා උනත් වේලාව ආවම යන්න වෙනවනේ ඉතින්...:(

    ReplyDelete
  12. හ්ම්ම්.... අද අද එයි මරු පින් කර ගන්නේ.. කෙලෙසද හෙට මරු නේති සිතන්නේ

    ReplyDelete
  13. ඔයා ලියපු කතා වලින් දුකම කතාම නිසූපා. පවු... ඒ මල්ලිට මාර දුකක් ඈත්තෙ....

    හ්ම්... ඔහොම තමා ඉතිං.

    ReplyDelete
  14. හ්ම්ම්ම්ම්ම්...

    මූලිකම කාරණය තමා වැසිකිලි වලේ කොන්ක්‍රීට් ආවරණය සුදුසු ඝනකමකින් යුතුව හදන්න ඕනෙ. අනෙක ඒක උඩ නිතර පාවිච්චි කරන තැනක් නොවෙන්න ඕනෙ.

    නිසුපා මේ ගැන දන්නවනෙ... නිවැරදිව වැසිකිලි වලක් හදන එක ගැන පැහැදිලිකිරීමකුත් දැම්මනම් අගෙයි :)

    ReplyDelete
  15. ඔ ඕ .. මලලසේකරයි.....
    මොනව කරන්නද ඉතින්.....
    ....

    ReplyDelete
  16. හපොයි.. වනේ වන හතුරෙකුටවත් ඔහොම කරදරයක් වෙන්න එපා...

    ජය...

    ReplyDelete
  17. පව් නේද?

    අඩේ අපේ ගෙදර වල නම් තියෙන්නෙ පිටිපස්සෙ.වෙලාවකට අතුගාන්න යද්දි කොන්ක්‍රීට් එක උඩිනුත් යනව මම්.අද ඉදන් අයින් වෙලා යන්න ඔනේ සුවර් නෑ මේ වෙන දේවල් හැටියට.වලකට වත් වැටිලා මැරිලායයිද කියල.:)

    ReplyDelete
  18. අනේ අක්කෝ.......... ඇත්තටම ගොඩාක් දුක හිතෙන කථාවක්නේ.....

    ජිවිතේ හැටි මෙහෙමයි කියලා කොහොම හිත හදාගන්නද???

    ReplyDelete
  19. හරිම දුක හිතෙන කතාවක් නිසූ...කාටවත් නම් මෙහෙම දෙයක් වෙන්න එපා....

    ReplyDelete
  20. පොඩිමෑන්ගෙයි විසිතුරුගෙයි මධුරංග අයියගෙයි බ්ලොග් පෝස්ට් කියවලා මේකට ඩොස උනේ.. කලින් බලපු ඒවත් එක්ක මේක දැක්කම එක පාරම දරාගන්න බැරි උනා.. පපුව ගැහෙනවා වැඩියි මගේ...

    ReplyDelete
  21. හපොය් දෙවියනේ....

    ReplyDelete
  22. ඕකට ලොකුම හේතුව මං දකින් විදියටනං කොන්ක්‍රීට් එක ඝණකම අඩුකම විතරක් නෙවෙයි..අපේ මිනිස්සු ගෙදර වෙන දේවල්වලදී කොන්ක්‍රීට් එකට දාන තරං හොඳින් වැසිකිලි වගේ කොන්ක්‍රීට් එකට යකඩ කම්බි නොදැමීම...

    මං බොහෝමයක් වෙලාවට දැකලා තියෙනවා ඔය වැටවල්වලින් ගලව ගත්ත පරණ කටු කම්බි පොටවල් එහෙම දාලා යන්තමට වැඩේ ගොඩ දාන හැටි. කොන්ක්‍රීට් එකක් දාද්දී ඒක ඇතුලට කම්බි නැත්තං කිතුල් පොළු දැම්මත් වරදක් නැහැ..හැබැයි පිටතට පොඩ්ඩක්වත් නිරාවරණය වෙන්න දෙන්න හොඳ නැහැ. අනිත් දේ තමයි කොන්ක්‍රීට් එක අනද්දී එහි මිශ්‍රණයේ අනුපාත වගේම හොදින් වතුර කලවම් කිරීම..

    වතුර අඩු උනහම කොන්ක්‍රීට් එක ඇතුලේ සිදුරු හිටලා ඒවා තුලින් වාතය ගමන් කරලා අර කම්බි හෝ කිතුල් පොළු දිරලා යනවා.

    අඩුවෙන් වතුර දැම්මමත්..දාන වතුර ටික අහකට බේරිලා ගියහමත් ඔය අවුල වෙනවා..

    හැබියි ඉතිං කොහොම කලත්..යන්න වෙලාව ආවම එකට හතක් කොන්ක්‍රීට් දැම්මත් වැඩක්නං නැහැ...

    "න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ
    න පබ්බතානං විවරං පවිස්ස
    න විජ්ජතී සෝ ජගතිප්පදේසෝ
    යත්ථට්ඨිතෝ මුඤ්ච්‍යෙය පාපකම්මා"

    ReplyDelete
  23. මාරේ අය්ය අනුශාසනාවක්ම කරලා තියෙන්නේ. මෙව අපි හැමෝටම හොඳ පාඩම්!!

    ReplyDelete
  24. ගොඩක් දුක හිතුණ කතාවක්. ජීවිතේ අස්තීර බව හොඳට ම තේරෙනවා.....

    ReplyDelete
  25. හරිම කණගා‍ටුදායක කතාවක්. ඒ මල්ලිට වාවන්නේ නැතුව ඇති.

    කොච්චර කොහොම හිටියත් යන්න වෙලාව ආවම යන්නම වෙනවා. ඒ නිසා ලග ලග එයි මරු පිං කර ගන්නේ කියල තමයි හිතන්න වෙන්නේ. :(

    ReplyDelete
  26. ඉංජිනේරු නෝන වැදගත් පණිවිඩයක් තමයි දීල තියෙන්නේ...

    (පොඩි දෙයක්: තාත්තගේ අක්ක, නැන්දා නේද? ලොකු අම්ම වෙන්නේ අම්මගේ අක්කා හෝ තාත්තාගේ අය්යාගේ බිරිඳ නේද? )

    ReplyDelete
  27. වෙලාව ආවම කාටත් යන්න නම් වෙනව තමයි. ඒත් අර මල්ලිට නම් දරාගන්න අමාරු වෙන්න ඇති.

    ReplyDelete
  28. හොඳම වැඩේ තමයි වටේ අඩි 2 ක් විතර වටේ අහුවෙන්න කම්බි හොඳට දාලා ඝනකමට කොන්ක්‍රීට් කරන එක. අපේ ගෙදර නම් ළඟදි එහෙම කලා. දැන්නම් බයවෙන්න දෙයක් නෑ.

    ReplyDelete
  29. වෙලා තියෙන දේ ගැන නම් කණගාටුයි. මේ සිද්ධියෙන් ගත යුතු පණිවිඩය නම් වැදගත් අප කාටත් ප්‍රවේශම් වෙන්නට....

    ReplyDelete
  30. @ගංඟාවේ ගීතය -කොච්චර බයානකද නේද වැසිකිලි වල වල් කියන ඒවා.ඒ අම්මා කොච්චර වෙලා ඒකෙ ඉන්න ඇතිද..
    අපේ අපද්‍රව‍ය වලින් හැදෙන්නෙ මීතේන් වායුව.ඒක නිසා කම්බි දිරනවා කියලා නම් දන්නෙ නෑ.ඒත් ඒවා එකතු වෙලා පීඩනය වැඩි වුනොත් වැසිකිලි වලත් පුපුරගෙන මතු වෙයි.ඒකයි බටයක් දාන්නෙ.

    @Gimhani - අම්මේ නූලෙන් නෙ බේරිලා තියෙන්නෙ...:O

    @ChammA - ඒක තමා මල්ලි.ජීවිතේ හැටි තමයි.

    @Weni - හ්ම්....අපිත් කොයි වෙලේද කියන්න බෑනෙ.

    ReplyDelete
  31. @ප්‍රාර්ථනා - ඒකනම් ඇත්ත.ඒ දෙන්නා විතරනෙ පවුලෙ ඉන්නෙ. ඒ මල්ලි ජීවත් වෙන්නකන් ඕක මතක් වෙයි.

    @චතුමිතු - කොන්ක්‍රීට් එක හයිය නම් අවුලක් නෑ.ඒක නම් ඇත්ත.ඒ ටික වෙලාව කොහොම දැනෙන්න ඇද්ද...

    @විසිතුරු | visituru - අපි හැමෝටම පොදු ධර්මතාවයක් ඕක. වටහා ගෙන ජීවත් වෙන තමා වටින්නෙ.

    ReplyDelete
  32. හිතාගන්න බෑ මේ වගේ දෙයක් නම්. වෙලාව ආවම කොහෙ හිටියත් යන්න වෙනව කියන කතාව නම් ඇත්ත නේද.

    ReplyDelete
  33. @prasanna86k - ඔව් අනේ මං මේ දුක හිතෙන එකක් ලිව්වාමයි.

    @ගීතක - ස්තූතියි අයියේ..මාත් ඉතිං වැඩිය දේවල දන්නෙ නෑ නෙ.තාම අලුත් ලමයි නේ...හික්ස්...

    @රහස් පරික්ෂකයා - හ්ම්....ඒකත් ඇත්ත.

    @Gayan Rupasinghe - අපි එහෙම ප්‍රාර්තනා කරමු..:(

    ReplyDelete
  34. අපේ මාම කෙනෙකුත් හිටියා එයත් ඔය පරන වැසිකිලි වලකට වැටිලා, කොටුවක් පනින්න ගිහිල්ලා. දවල් තමයි වැටිලා තියෙන්නෙ ලැජ්ජාවට සද්ද නොකර ඉඳලා. පස්සෙ මිනිහා නැති හින්දා අනිත් මාමා හොයන්න ගිහින්, ගම පුරා කෑ ගගහා යනවලු
    " නිමලසේන අයියේ.....නිමලසේන අයියේ..... "
    ඔයවිදියට යනකොට ඇහෙනවලු හීනියට
    " ලොකු මල්ලේ....ලොකු මල්ලේ.... "
    ම්හ්.... සද්දෙ ආවට මිනිහ පේන්න නැහැලු. ආයෙ තව ටිකකින් ඇහෙනවලු,
    " ලොකු මල්ලේ........ මම මෙහේ....... වලේ........"
    පස්සෙ හාදයව ගොඩ අරගෙන මල්ලි කට්ටියටම කියලා.
    මට කිව්වෙ අපේ අම්ම...

    මේකෙන් දෙන ආදර්ශය තමයි, කොටු පනින්න යන අයත් වලවල් වලින් ප්‍රවේශම් වෙන්න කියන එක

    ReplyDelete
  35. @නදී - පරිස්සම් වෙන එක අපි කාටත් හොදයි නේ.
    ඇයි අනේ ඔයාට මොකද දැන් වෙලා තියෙන්නෙ :O

    @දේවා ගේ අඩවිය - මොනවා කරන්නද මල්ලි හිත හදා ගන්නවා මිසක.

    @දිල් - අපි එහෙම ප්‍රාර්තනා කරමු අක්කා...:(

    @Dinesh - ඇත්තටම මාත් අම්මගෙන් මේ කතාව අහපු ගමන් ශොක් වුනා.

    ReplyDelete
  36. @Observer - ඒක නේන්නම්

    @මාරයාගේ හෝරාව - බොහෝම ස්තූතියි අයියා ඔයාගෙ දැනුම බෙදා දුන්නාට.
    ඔව් කම්බි පොඩ්ඩක්වත් නිරාවරණය වෙන්න හොද නෑ.එතකොට අපිටත් නොදැනිම ඇතුලෙන් දිරනවා.එලියට පේන්නෙ නෑ.
    කොන්ක්‍රීට් කතාවනම් මං දැනගෙන හිටියෙත් නෑ.

    @cjgayan - ඔව් අයියා මාරයා අයියා එයාගෙ අත්දැකීම් ටිකක් අපිටත් දීලා ගිහින්

    @මහි - ඒකනම් ඇත්ත.

    ReplyDelete
  37. @සුදු මැණිකේ(මැණික්) - මල්ලි ජීවත් වෙන තුරාවට ඒක මතක් වෙවී හිතින් තැවේවි.

    @නදුන් උයන - ස්තූතියි මගේ වැරැද්ද පෙන්නුවාට. ඔන්න හැදුවා.

    @Kasun - ඒකනෙ එයා එහෙම කියවන්නෙ.

    @පැණි දොඩම් - එහෙනම් හොදයි. මාරයා අයියා කියලා තියෙන ටිකත් දැක්කා නේද?

    ReplyDelete
  38. @දිනේශ් දීපාල් - ඔව් අපි ඉතින් කොන්ක්‍රීට් නිසා ගනන් ගන්නෙ නෑ නෙ. වෙලාවට අපේ ගෙදරනම් වැසිකිලි වල උඩින් යන්න අවශ්‍ය වෙන්නෙ නෑ.

    @පිණිබිඳු - ඒකනෙ කියන්නෙ ලකියො.රෙදි වනන්න ගිහින් එහෙම වෙනවා කියලා හිතන්නෙත් නැතුව ඇති.

    @uwiniran - අපොයි....කොටු පනින්න ගිහින් කරගෙන තියෙන දෙයක්...

    ReplyDelete
  39. බොහොම දුක හිතෙන කතාවක්.

    හරි ඝනකමට අඩුවෙන් ස්ලැබ් කාස්ට් කිරීම සහ හරි ප්‍රමිතියට කම්බි නොදැමීම්ම (රේන්ෆෝස්මන්ට් ගැන ඉංජිනේරු නෝනල අහල ඇතිනෙ ) ලංකාවෙ වැසිකිලි වලවල් හදන බාස්ලගෙ පුරුද්දක්! අනික කොන්ක්‍රීට් එක දිරන හිල් - වා සිදුරු එහෙම නැත්තං "හනි කෝම්බ්" එන්නෙ කොන්ක්‍රීට් එක හරියට පෝකර් උන් නැතිඋනාම. දැකල ඇතිනෙ සයිට් එකේ කොන්ක්‍රීට් අර වයිබ්‍රෙටර් එකෙන් පෝකර් කරනව. සාමාණ්ය්යෙන් ලංකාවෙ අතින් අනන කොන්‍රීට් වල නියම අනුපාතය වෙනුවට වැලි සහ වතුර වැඩි පුර දාන එකයි වෙන්නෙ, නැතුව වතුර අඩුවෙන එක නෙමෙයි. වතුර වැඩි උනාම ගල් යට ගිහින් වැලි සිමෙන්ති උඩ හිටිනව.
    කොහොම උනත් වැසිකිලි වලකට වෙනම කාස්ට් කරල ගන්න ස්ලැබ් දැමීම බොරු වැඩක්. හොඳම ක්‍රමේ ඉන්සිටු ස්ලැබ් එකක් අඩි දෙකේ දෙකේ වගේ කටක් හෝ දෙකක් තියල දාල, අර කටට විතරක් පොඩි ප්‍රීකාස්ට් ස්ලැබ් එකක් හරි යකඩ පියනක් හරි ( ගලි කවර ) දාල වහන එක.

    ReplyDelete
  40. පුදුම දුක හිතෙන කතාවක්නේ නිසුපා .

    ReplyDelete
  41. @ඉන්දික උපශාන්ත - බොහොම ස්තූතියි අයියේ අදහස් ටිකට. රේන්ෆෝස්මන්ට් ගැන නම් අහලා තියෙනවා :)))

    ReplyDelete
  42. @Bindi - ඒක තමයි අක්කේ..

    ReplyDelete
  43. ලංකාවේ වැඩියෙන් මරණ වෙන්නේ නොසැලකිලිමත් කම නිසා වගේම නො දැනුවත්කම නිසා මේවාට ඉතින් මහජනතාව දැනුවත් කරන එක හොඳින් වෙන්න ඕනේ. වැසිකිළි වල කිව්වාම මට මතක් වුණේ කේ.ජයතිලක මහත්තයාගේ නොනිමි සිත්තම කෙටි කතා සංග්‍රහයේ තිබුණු "අපිටත් වැසිකිළියක්" කියන කතාව

    ReplyDelete
  44. අදයි දැක්කෙ..දුක් සීන් එකක්නෙ..

    ReplyDelete

වෙලාවක් තියෙනවානම් කතාව කියවලා අදහසක් දීලම යන්න.
පුලුවන් නම් පස්සෙනුත් පන්නන්න...:)))

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...